Sunday, November 13, 2011

සොඳුරිය මට නොකියාම ගියා



එදා මෙදා තුර කඳුළට විවරව
දෑස් පියන්පත් කවුළු වසා
ළයේ ගලා ගිය සෙනේහයේ සුව
සිනා පිරූ රත් දෙතොල පියා
මිලාන වී ගිය රෝස කුසුම් පෙති
කම්මුල සුදුමැලි පාට පොවා
දෑත ළයේ බැඳ අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා

දෑස් කවුලු පත් පලා කදුළු කැට
වෑහෙද්දී මගෙ දෑස් අගින්
කාත් කවුරුවත් වෙතත් හිතයි මට
පාත් වෙන්න ඔය මුවට උඩින්
ඈත්ව යන්නට සමුගෙන කවුරුත්
ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්
මාත් මගේ සිතටත් ඔබ සුවඳයි
ඈත් නොවේමයි ඒසුවඳින්

ඊයේ ඉපදී අද මිය යන්නට
පෙරුම් පුරාගෙන උපන් ළයේ
හීයේ වේගෙන් අහස උසට බැඳි
ආදර ලෝකය හෙටත් තියේ
ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නැත
ඇයි මේ ලොව මා තනිව ගියේ
ආයේ දවසක එක හිත ඇත්තන්
වී අපි ඉපදෙමු එකට ප්‍රියේ

No comments:

Post a Comment